MasalaDosa

කොලොන්නාවේ ගංවතුර පාලනය සඳහා ඒකාබද්ධ ආයතනික සැලැස්මක්

Reported by Lankadeepa
11 hours ago

කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘති කඩිනම් කිරීමට ඒකාබද්ධ ආයතනික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. ජලාපවහන පද්ධති නවීකරණය, පූර්ව අනතුරු ඇඟවීම් සහ ඉක්මන් ජල බැසයාම් පහසුකම් වැඩිදියුණු කිරීම මගින් ගංවතුර හානි අවම කිරීම මෙහි අරමුණ වේ. රුපියල් මිලියන 10,700 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධන සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් පාලන ආයතන අධීක්ෂණය කරනු ඇත.

කොලොන්නාවේ ගංවතුර පාලන කටයුතු වේගවත් කිරීම සඳහා විවිධ ආයතන එක්ව ක්‍රියාත්මක කරන ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. මෙම ව්‍යාපෘතිය මගින් නාගරික ප්‍රදේශවල ජල ගැලීම් සහ සුළු ගංවතුර තත්ත්වයන් වැළැක්වීමටත්, අනතුරු ඇඟවීමේ පද්ධති සහ ජල බැසයාම් පහසුකම් ශක්තිමත් කිරීමටත් සැලසුම් කර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා රුපියල් මිලියන 10,700 ක මුදලක් වෙන් කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් පාලන ආයතන එක්ව මෙම ජල පාලන ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ඇත.

කොලොන්නාවේ වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස, සැළලිහිණි මාවත ඇල සංවර්ධනය හා ඒ ආශ්‍රිත පාලම්, බෝක්කු, ජල රඳවන තටාක, වැව් සහ කුඩා ඇල මාර්ග පද්ධතිවල ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීමට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු නිලධාරීහු ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කළහ.

Original source: Lankadeepa ↗